පුංචි අඩි

“සුරාජ් හොඳ මනුස්සයෙක් වගේ”

මලික් මෙහෙම කිව්වේ අපෙ ටෙලිකොන්ෆරන්ස් එකට පස්සේ මගෙ බැල්කනියේ වාඩිවෙලා ඉන්න වෙලාවේ.

“ඒක නම් ඇත්ත තමා”

නීලත් කතාවට එක්වුනා.

“සුරාජ් මගෙන් ඇහුවා උදව්වක් ඕනද කියලා… මං කිව්වේ මට රේල්වේ රස්සාව තියෙන නිසා ඒ අතින් කරදරයක් නෑ කියලා… නමුත් ප්රශ්න තියෙන අය ඕන තරම් ඉඳී..”

මම සුරාජ් එක්ක පැවතුන පෞද්ගලික සාකච්ඡාව කෙටියි. නමුත් ඒ ගැන මම නීලයි මලිකුයි ඉදිරියේ කිව්වේ ඒ අයටත් ඕනනම් හෝ කැමතිනම් ඒ අයගෙ සාකච්ඡත් බෙදාහදා ගන්න ඉඩ සලසලා. මලික් වහාම කතා කළා.

“මට අයිතියක් නෑ සුරාජ්ගෙන් උදව් ගන්න - මිනිහා මාව දන්නෙත් නෑ. මං හිතුවේ ඉස්සරවෙලා ලලිත්ගෙන් අහලා බලන්න මෙහෙ රස්සා සොයාගන්න හැටි. අමතක කරන්න එපා මම මේ රටට ඇවිත් තවම දවස් කීපයයි!”

“නෝ ප්රොබ්ලම්… යුනිවසිටි නෝටිස් බෝඩ් හෙට බලමු… මම අහලා බලන්නම් අපෙ ස්ටේශන් එකෙමුත්”

නීලා කිසි දෙයක් කිව්වෙ නෑ විනාඩියකට. බැල්කනියෙන් ඈත අඳුර දිහා බලාගෙන හිටියේ. කම්මුලේ කදුළු ගලනවා දැකලා මම වහාම නැගිට්ටා.

“මලික් බීර එකක් ඕනද නැත්නම් තේ?”

“ඉන්න මම තේ එකක් හදන්නම්”

අපි දෙන්නම ගේ ඇතුලට ගියා. විනාඩි දෙක තුනකට පස්සේ නීලත් ඇතුලට ආවේ මට ඉඟියෙන් ‘තැන්ක්යූ’ කියමින්.

“තේ?”

“තැන්ක්ස්”

අපි තේත් අරගෙන බැල්කනියේ නැවතත් වාඩිවුනාටත් පස්සේ නීලා කතාකළේ.

“මම ඔස්ට්රේලියාවට ආවේ පෝස්ට් ග්රැජුවට් ඩිග්රියක් කරන්න… ලලිත් දන්නවා අපි සල්ලි කාරයෝ නෙවෙයි කියලා… මම මෙහාට ආවේ … නෑ… වෙන විදිහකට පටන්ගත්තොත්… අපෙ දුර නෑදෑ පවුලක් තමා මගේ ඉගෙනීමට ගෙවන්නේ … ගෙව්වේ. ඒ අය බලාපොරොත්තුවුනේ මම ආපහු ලංකාවට ගියහම ඒ අයගෙ ලොකු පුතාව බදිනවා කියලා… වැරැද්දක් හිතන්න එපා ඒ අය ගැන. සුනිල් අයියා හොඳ කෙනෙක්; අපි පොඩි කාලේ ඉඳන් ආශ්රය කළා…”

මේ මට පුරුදු ජාතියේ කතාවක් නෙවෙයි. නමුත් විහිළුවක් නොකර නිහඬව ඉන්න මම පරෙස්සම් වුනා. අපි සද්ද නැතුව බ්රිස්බන් රාත්රි සද්ද වලට කන්දුන්නා.

“දැන් මට වෙලා තියෙන්නේ ඉගෙන ගන්න එක අතෑරලා මොකක් හරි රස්සාවක් හොයාගන්න… ක්ලීනර් කෙනෙක් හැටියටවත්… ඒත් ඔය මොකකින්වත් වැඩක් තියෙයිද? අම්මලා තාත්තලා නෑ, මල්ලී නෑ, සුනිලයියත් නෑ, ලංකාවකුත් නෑ… මම තනියම ඉඳගෙන මහන්සිවෙන්නේ මොන මගුලකටද?”

මට කියන්න වචන නෑ - මගේ ලෝකේ මේ වගේ ප්රශ්න නෑ. මලික්ට එහෙම කරදරයක් නෑ.

“නීලා… අපි ලෝක දෙකක ජීවත්වුනේ. නීලා වගේ මම ඉගෙනීමට දක්ෂම නෑ - රගර් ගහන්න විතරයි පුළුවන්. ඔස්ට්රේලියාවට ආවේ ටික කාලයක් යාළුවෙක් එක්ක ජොලියක් දාලා යන්න මිස ලොකු අරමුණක් ඇතුව නෙවෙයි. මම දැනට බැඳලා ඩිවෝස් වෙලත් ඉවරයි… නමුත් නීලා අද ටෙලිකොන්ෆරන්ස් එකේ කියපු දේ මගෙ හිතට වැටුනේ කොන්ක්රීට් බ්ලොක් වගේ! ලංකාව නෑ - කවදාවත් ලංකාවක් තිබිලත් නෑ! මෙහෙම කියලා අර මෙල්බන් කොල්ලට වගේම අනික් අයටත් අපේ තත්වය ගැන මූළික පාඩම උගන්නපු නීලා මෙහෙම කියයි කියලා මං හිතුවෙ නෑ”

මට පුදුමයි මලික්ගෙ තක්සේරුව. ඇත්තටම නීලා මීටිමේ කියපු දෙයට සම්පූර්ණන්ම විරුද්ධ දෙයක් දැන් කියන්නේ.

“වෙල් සෙඩ් මලික්!. කොයි තරම් දුකක් වුනත් අපි අනාගතේ අමතක කරන්න හොඳනෑ නේද නීලා? අර කතාවක් තියෙනවානේ පස්ස බලන කන්ණාඩියෙන් විතරක් බලාගෙන කාර් එලවන්න බෑ කියලා… අපි අනාගතේ ගැන ටිකක් හිතලා බලමුද?”

……………………………….

මම කොළඹ ගියේ උදේ කෝච්චියේ. නවාතැනේ ඉඳන් පයින් දුම්රියපොලට එන්න හැකිවීම මට අළුත් අත්දැකීමක්. ගලගෙදරින් පාන්දර නුවරට ඒම ලේසි නෑ; කුරුණෑගලින් එන බස් එක බැරිවුනොත්.

ජයේ කිවූ විදිහට මට තිබුනේ ප්රොජෙක්ට් බ්රීෆින් එකෙන් ව්යාපෘතිය ගැන තොරතුරු එකතු කිරීම පමණයි. දෙපාර්තමේන්තුවේ නිලධාරි මෙන්ම සහභාගිවන අනික් අයගේ අදහස් වලටත් කන්දීම වැදගත් බව ජයේ කිව්වා.

“ඔය සමහර කන්සල්ටන්ට්ලා හරිම කැමතියි ඒ අයගෙ දැනුමයි හැකියාවයි සද්දෙට කියන්න - ගොං යක්කු! දෙපාර්තමේන්තු නිලධාරි ඒ කතා වලින් සැලෙන්නෙ නෑ. අනික් අතට අපිට, ඒ කියන්නේ උන්ගෙ ඔපසිශන් එකට, පුළුවන් උන් හිතන්නේ කොයි විදිහටද කියලා දැනගන්න… උඹෙ වැඩේ සද්ද නැතුව අහගෙන ඉඳලා සටහන් ලියාගන්න එක විතරයි. පරණ යාළුවෝ ඇවිත් හිටියොත් උන් එක්ක කෑවට බීවට කමක් නෑ හැබැයි ප්රොජෙක්ට් එක ගැන කතා නොකර… දෙපාර්තමේන්තුව දෙන ලියකියවිලි සේරම අරගෙන වරෙන්, වැඩක් ඇතිවුනත් නැතිවුනත්…. සිකුරාදා රෑම ආපහු එනවද?”

“නෑ මං හිතුවේ මොරටුවේ ගිහින් මල්ලිත් හම්බවෙලා සෙනසුරාදා දෙන්නම නුවර එන්න”

“එහෙනං වැල්ලවත්තේ සැෆයර් එකේ කාමරයක් ගනින් කොම්පැනියේ අකෞන්ට් එකට… එතකොට උඹගෙ මල්ලිත් එක්ක තෝසේ එහෙම කාලා උදේ නුවර එන්න ලේසියි”

“තැන්ක්යූ”

මල්ලී වැල්ලවත්තේ හෝටලේට ආවේ හය පහුවෙලා.

“සාප්පුවේ වැඩ වැඩිවුනා, දාලා එන්ට බැරි තරමට - සොරි!”

“ප්රශ්නයක් නෑ - බීර එකක් බොමුද?”

අපි බීර උගුරක් අරගෙනයි කතා පටන්ගත්තේ.

“මොකද රස්සාව පටන්ගත්ත ගමන්ම කොළඹ ආවේ?”

“මගෙ බොස්, ඩොක්ටර් ජයරත්නට වැඩ වගයක් එකතුවෙලා කියලා මට එන්න කිව්වේ… නරක නෑ ඔයත් හම්බවුනා නේ”

“අළුත් රස්සාව පටන්ගෙන දවස් තුනයි, කොළඹ මීටිමකට ඇවිත් හෝටලේක ඉන්ටත් හම්බවෙනවා! මගෙ රස්සාවේ තේ එකක්වත් හම්බවෙන්නෙ නෑ!”

මං දන්නවා මල්ලී එයාගෙ රස්සාව කරන්නේ සතුටින් වගේම අනාගත බලාපොරොත්තු ඇතුව. විභාග වලින් පස්සේ ස්ථිර රැකියාවකුත් සමහරවිට මැද පෙරදිග රැකියාවකටත් මග පෑදෙන්නේ දැනට කරන අඩ කාල රැකියාවෙන්. නමුත් රැකියා ගැන විහිළුවක් කිරීමේ අවස්ථාව අතහරින්න මල්ලිට බෑ.

“කවද්ද විභාග ඉවර?”

“තව සති දෙකකින්… මගෙ බොස් කිව්වා ඊට පස්සෙත් දිගටම වැඩ කරන්න පුළුවන් කියලා… මං හිතුවේ අවුරුද්දක් වැඩ කරලා මිඩ්ල් ඊස්ට් යන්න - අවුරුදු කීපෙකට”

“සල්ලි හොයන්න?”

“ඔවු - බොරු කියන්නේ මොකටද? ගියොත් යන්නේ සල්ලි හොයන්ට තමා!”

“අඩු ගානේ චුට්ටී ඒ ගැන බොරු කියන්නෙ නෑ!”

“ඕන නම් බොරුත් කියන්නම් අද රෑට චීන කෑම අරගෙන දෙනවානම්!”

“රයිට්!”

“අළුත් ගෙදර ගැනත් කියනවනම්… මට වැඩියම දැනගන්ට ඕනෑ ඉඳලා හිටලා මට එතන ගජේ ගහන්න ඉඩ තියෙනවද කියලා”

“ඩබල් බෙඩ් එකක තියෙන්නේ… තව දිග කුශන් කරපු පුටුවකුත් තියෙනවා”

මල්ලිගෙ මූණේ නැගීගෙන ආ සිනාව හරිම හැඩයි.

“මං මේ මැරිලා දිවියලෝකේ ඉපදිලාද? අයියා දන්නවනේ ගලගෙදර ඉඳන් ගමනේ කරදර. අයියගෙ අම්බලමේ රෑ ඉන්ට පුළුවන්නම් මට සිකුරාදා වැඩ ඇරිලා නුවර එන්ට් පුළුවන්; සඳුදා උදේ නුවර ඉඳන් යන්ටත් පුළුවන්!”

“මාත් එක්ක බොන්නත් පුළුවන් කිව්වෙ නෑ!”

“ඒක තමා ඉස්සරවෙලාම හිතුනේ!”

“ඒක පුදුමයක් නෙවෙයි!... ඇත්තටම චුට්ටී මට හරිම සන්තෝසේ ආයෙත් රස්සාවක් පටන්ගන්න එක… ඊටත් වැඩිය ගෙදරට කිට්ටුව. අම්මයි උඹලා දෙන්නයි මට දීපු සපෝට් එකේ ප්රතිඵල”

“ඔන්න අයියා ආයෙත් අපෙ සපෝට් ගැන වීනා ගානවා! පොල් පිත්තකට කොච්චර ‘සපෝට්’ දුන්නත් ඒකෙන් පොල් ගහක් හැදෙන්නෙ නෑ. අයියා කරපු දේ වටිනාකම අඩුකරන්ට එපා… ඇත්තටම මොකවත් කරන්ට ඕනම කියලා හිතෙනවනම් තව බීර එකක් ගන්ට - එතකොට ඔය කතා නවත්තන්ට පුළුවන් - සදහටම!”

මට ඒ වෙලාවේ හිතුනේ මම කොයි තරම් වාසනාවන්තයෙක්ද කියලා මේ වගේ පවුලක සමාජිකයෙක් වෙන්න. ලංකාවෙත් පිටරටත් ඉගෙනගන්න කාලේ මට ඕන තරම් යාළුවෝ හිටියා. මගෙ ජීවිතේ හැඩගැහුනේ ඒ යාළුවන්ගේ බලපෑමෙන් බව පැහැදිලියි. මම කියවන පොත්, බලන බයිස්කෝප්, යන විනෝද ගමන් වගේම සමහර කෑම බීමත් යාළුකම් වලින් ආභාෂය ලැබූ බව නිසැකයි. නමුත් දැන් මට හිතෙන්නේ මේ බලපෑම් සේරම ගොඩනැගී ඇත්තේ පවුලෙන් පිහිටවූ අඩිතාලම මත බවයි. මම මීගස්තැන්න කෙනෙක් - මොන රටේ, මොන මිතුරෝ සමග ගැවැසුනත් මගෙ ‘මීගස්තැන්න කම’ වෙනස් වෙන්නෙ නෑ. අළුත් අදහස් උදහස්, නිපුණතා, දැනුම මෙන්ම නොයෙක් අත්දැකීම් ලැබුවත් ඒවා ගොඩනැගී තියෙන්නේ මම පවුලෙන් ලැබූ දායාදය මත.

ඒ අනුව මල්ලී සමග කිට්ටු සම්බන්ධයක් ඇතිවීම තේරුම් ගන්න අමාරු නෑ. මම අනාගතයක් ගොඩනගන්න ඕනෑ අම්මයි නංගියි මල්ලියි ගැනත් හිතලා බලලා. ඒ අනුව මහනුවර රස්සාව භාරගැනීම හරි තීරණයක් කියලා මට පෙනුනා.

………………………………

කතා කරගත්ත හැටියට මම මලික්ව යුනිවසිටි දැන්වීම් පුවරු බලන්න එක්ක ගියේ ඉරිදා. සෙනසුරාදා ටෙලිකොන්ෆරන්ස් එකෙන් පස්සේ මගෙ කාමරේ ඉඳන් අනාගතය පිළිබඳව කළයුතු ක්රියා ලයිස්තුවේ උඩින්ම තිබුනේ මලික්ට රස්සාවක් සොයා දීම ගැනයි. මමත් රස්සා සොයන්න පටන්ගත්තේ ඒ දැන්වීම් පුවරුවකින්.

“මලික් කියවලා බලන්න මෙතන හරියයි කියලා හිතෙන රස්සාවක් තියෙනවද කියලා. පහක් හයක්වත් ලියාගෙන අපි ටෙලිෆොන් කරලා බලමු. මම ගිහින් කෝපි දෙකක් ගේනවා…”

ඉරිදා කැන්ටිමේ කොටසක් විතරක් ඇරලා තිබුන නිසා කෑම බීම සොයා එන්නෝ හිටියේ එකම පෝලිමේ. මම මගේ (පරණ) මිත්ර පීටර් දැක්කේ ඒ හේතුවෙනුයි.

‘ලංකාව නැති වෙන්න’ ඉස්සර පීටර් මගෙ හොඳම යාළුවා. නමුත් දැන් පෙනෙන්න ඉන්න පීටර් හැඩයෙන් සමානවුනත් මගේ මිත්ර පීටර් නෙවෙයි. කෝකටත් කියලා මම මිනිහත් එක්ක හිනාවුනා. පීටරුත් පොඩි හිනාවක් පෙන්නලා අහක බලා ගත්තා. මේ ජීවිතේ අපි යාළුවෝ නෙවෙයි! නමුත් මගෙ පරණ යාළුවන්ට් කතා කිරීම අපෙ අනාගත ජීවිත ගොඩනැගීමේ කොටසක් හැටියට අපි පිළිගෙන තිබුනා. ඒ නිසා මේ අවස්ථාව අපතේ නොඅරින්න මම තීරණය කළා.

එක කෝපි කෝප්පයක් මලික්ට දීලා මම ආපහු කැන්ටිමට ආවා. එතකොට පීටර් විස්කෝතුවකුත් තේ කෝප්පෙකුත් අරගෙන මේසයක් දිහාට ඇවිදිනවා. මම ඒ පැත්තට ගියා.

“එක්ස්කියුස්මී… ඔයා පීටර් ග්රීන් නේද?”

“ඔවු… අපි එකට ජියෝලොජි ලෙක්චර් ගියා නේද? … සොරි … මම නම් මතක තියාගන්න දක්ෂ නෑ!”

“අපිට පොඩ්ඩක් කතා කරන්න වෙලා තියෙනවද?”

අපි දෙන්නා වාඩි වෙලා මුහුණෙන් ප්=මුහුණ බැලුවා. කතාව පටන්ගන්න ඕන මම බව මට තේරුණා. සමහරවිට මේ පීටර් මම නයක් ඉල්ලන්න එන්නේ කියලා හිතන්නත් ඇති!

“මගෙ නම ලලිත්. මගෙ උපාදි කටයුතු ඉවරයි. දැන් පොඩි රස්සාවක් කරනවා… මම මගෙ ශිෂ්ය ජීවිතේ ගැන මතක එකතුකරනවා… පීටර් කරපු සබ්ජෙක්ට් ගැන මගෙ මතකේ හරිද කියනවද?”

මෙහෙම කියලා මම මගේ මිත්ර පීටර්ගේ විෂය ලැයිස්තුව කිව්වා.

“ලලිත්ගෙ මතක බොහොම හොඳයි… සබ්ජෙක්ට් එකක් දෙකක් ඇරුනුකොට අනික් සේරම හරි!”

“පීටර්ගෙ ගෙවල් හැමිල්ටන් වල හැබැයි අන්තිම අවුරුද්ද හිටියේ ගඟ ලඟ මැක්ක්වොරි වීදියේ ගෙදරක?”

“හ්ම්… අපෙ ගෙදර හැමිල්ටන් බව ඇත්ත. හැබැයි ඔය මැක්ක්වොරි වීදියේ ඉඳලා නෑ… කාලයක් එහෙම හිතපු බව ඇත්ත හැබැයි එතෙන්ට ආවෙ නෑ… කොහොමද ඒ ගැන දන්නේ?”

“ඒක මටත් තේරුම් ගන්න බෑ… ඒකයි මේ මෝඩ ප්රශ්න අහන්නේ! පීටර් දන්නවද මම ඉපදුනේ මොන රටේද කියලා?”

“මං හිතුවේ ඉන්දියාවේ කියලා… ඒක හරිද?”

මගෙ මුහුණ ටිකක් අඳුරු වෙන්න ඇති. පීටර් මා දිහා කරුණාවෙන් බැලුවා.

“ලලිත් මොනවා හරි ප්රශ්නයක්ද?”

මම අඩමාණ හිනාවක් නැගුවේ ප්රශ්නයක් ඇත්ද නැද්ද තේරුම් ගත නොහැකි නිසා.

“සොරි පීටර්… ඔයාගෙ කාලය නාස්ති කරාට… මට ප්රශ්නයක් තියෙනවද නැද්ද කියන එකයි තියෙන ලොකුම ප්රශ්නේ! ස්තුතියි…”

මම නැගිටලා කැන්ටිමෙන් එලියට ආවා. මට දැනුනා පීටර් මා දිහා බලාගෙන ඉන්න බව නමුත් මම ආපසු බැලුවෙ නෑ. මට දැනුනේ රටක් නැතිවුනා වගේම හොඳ යාළුවෙකුත් නැතිවුනා වගෙයි. එකට ඉගෙනගෙන, එකට පබ් ගිහින්, එකට ක්රිකට් ගහලා… අන්තිමට මට පාටියකුත් දුන්න පීටර් දැන් අමුත්තෙක්.

නමුත් බලන්න ඕන අනාගතේ දිහා මිස අතීතේ දිහා නෙවෙයි. මම වහාම මලික් සොයාගෙන ගියා.

“මොකුත් නෑ ලලිත්… මම කෝල් තුනක් ගත්තා හැබැයි කිසි වැඩක්වුනේ නෑ…”

මලික් දැන්වීම් පුවරු ලඟ බංකුවක වාඩිවෙලා ඉන්නවා, රස්සා සෙවීම අතහැරලා වගේ.

“අපි බලමුද මං කරන රස්සාව ගැන? දුම්රිය දෙපාර්තමේන්තුවේ පෝටර් වැඩේ”

“එහෙම බලමුද? මට රස්සාවක් නැතුව බෑ… ඉන්න් තැනක් සොයාගන්නත් ඕනෑ. ලලිත්ගෙන කාලා බීලම ඉන්න බෑ, පිලිලයක් වගේ…”

“මම බලන්නම් හෙට මගෙ ලොක්කට කතා කරලා. මග් යාළු මයිකල් කියලා කෙනෙක් ඉන්නවා ටුවොන් ස්ටේශන් වැඩ කරන. මිනිහටත් කියලා බලමු එතන වැඩ තියෙනවද කියලා”

අනාගතේ පැත්තට පුංචි පුංචි අඩි ගන්න පටන්ගත්තා වගේ මට දැනුනා.